මානව ස්නායු පද්ධතිය තුල වූ විද්‍යුත් සන්නයනය

  මානව ස්නායු

  පද්ධතිය තුල වූ 

   විද්‍යුත් සන්නයනය



ඔබේ අත තියුණු යමක ගැටුණු විට එසැනින්ම අත ඉවතට ගන්නේ,ඔබ දෙසට වාහනයක් වේගයෙන් පැමිණෙන විට ඔබ ඉවත් වන්නේත් ඇයිදැයි ඔබ කවදා හෝ සිතා තිබේද?
ඒ සියල්ල ඇසිපිය ගසන ක්ෂණයෙන් සිදු කරනු ලබන්නේ ඔබේ සිරුර තුල ඇති විද්‍යුත් ස්නායු පද්ධතියයි.එමගින් ඔබේ සිරුරේ සෑම කුඩා චලනයක්ම ඉතාමත් කෙටි කාලයක් තුලදී සිදු කරනු ලැබේ.මිනිස් සිරුර තුල වූ මෙම විද්‍යුත් සන්නයන ක්‍රියාව සිදුවන අතරම,එහි මුලික තැනුම් ඒකකය වන නියුරෝන හරහා මෙම විද්‍යුත් ආවේග ගමන් කරයි.එම ආවේග ගමන් කරන නිශ්චිත වූ මාර්ගය, “ප්‍රතීක චාපය” නම් වන අතර නියුරෝන හා ප්‍රතීක චාපය යනු මොනවාද?මෙලෙස දේහය තුල විද්‍යුත් ආවේග මගින් පණිවිඩ රැගෙන යන්නේ කෙසේ දැයි පහතින් විස්තර වේ.







  • මිනිස් සිරුර පුරා විහිදුනු ස්නායු ජාලයක් ඇති අතර ඒ සියල්ලෙහිම සම්බන්දක හා සමායෝජක මද්‍යස්ථානය වන්නේ මොලයයි.මොලය මගින් අවයව වල සිට,ස්නායු මගින් ගෙන එන ආවේග සමායෝජනය කර එදිරි පියවර හෙවත් දැක්විය යුතු ප්‍රතිචාරය තීරණය කර අදාළ අවයව වෙත යවනු ලැබේ.මෙම ආවේග ගමන් කරන්නේ විද්‍යුත් ආවේගයක් ලෙසයි.



මේ සඳහා විශේෂණය වූ ව්‍යුහය වන්නේ නියුරෝනය යි.මානව ස්නායු පද්ධතියේ නියුරෝන බිලියන ගණනක් ඇති අතර,ඒවා එහි කෘත්‍ය මෙන්ම හැඩගැස්ම අනුව වර්ග කල හැක. කෘත්‍ය අනුව වර්ග කරන විට අවයව වල සිට ආවේග රැගෙන එන නියුරෝන,සංවේදක නියුරෝන ලෙසද,අවයව වෙත ආවේග රැගෙන යන නියුරෝන චාලක නියුරෝන ලෙසත්,මෙම වර්ග දෙක සම්බන්ද කරන නියුරෝන  අතරමැදි නියුරෝන ලෙසද හඳුන්වයි.පහත දැක්වෙන්නේ චාලක නියුරෝනයකි. 







නියුරෝන ඔස්සේ ආවේග ගමන් කරන්නේ කෙසේද යන්න දැන් විමසා බලමු. නියුරෝනය සෛල දේහයකින් ආරම්භ වෙන අක්සනය අවසානයේ ශාක වලට බෙදී සියුම් ඉදිමුම් වලින් අවසන් වේ.එම සියුම් ඉදිමුම් උපගාම කුදුම්බි ලෙස හඳුන්වයි.එක් එක් නියුරෝනයේ උපගාම කුදුම්බි එකිනෙකට ඉතා ආසන්නව නමුත් ස්පර්ශ නොවෙන පරිදිද,සකස් වී ඇත.ඒ හරහා අක්සනයක් දිගේ එන විද්‍යුත් ආවේග නියුරෝනයක සිට අනිකට හුවමාරු  වීම සිදුවේ.




                                                                               






  • අක්සන පටලයේ අයන වලට දක්වන පාරගම්‍යතා වෙනස හේතු කොටගෙන ආවේගයක් ගමන් නොකරන අවස්ථාවේ අක්සන පටලය පිටත ධන(+) ලෙසත් ඇතුලත (-) ලෙසත් ආරෝපණය වී ඇත. එනම් අක්සනයේ ප්ලාස්ම පටලය විද්‍යුත් ලෙස ධ්‍රැවනය වී ඇත. 
  • මේ පටල දෙපස ඇති වූ විභව වෙනස,අක්‍රිය විභවය ලෙස හඳුන්වයි. 


  • මෙම අක්‍රිය විභවය -70mv වන අතර ඒ සදහා, Na+ හා K+ යන සඳහා පටලය දක්වන වරණීය පාරගම්‍යතාවය, Na+,K+ පොම්පය හා බහිස් සෛලිය තරලයට සාපේක්ෂව නියුරෝනය තුල වූ විශේෂිත අයන වල සාන්ද්‍රණ වෙනස යන කරුණු බලපායි.


  • නියුරෝන වල ප්ලාස්ම පටලයේ ඇති නාල ප්‍රෝටීන ඔස්සේ නියුරෝනය තුල ඇති කුඩා K+ අයන පිටතට ගලා යයි. නමුත් ඇතුලතට එන Na+ සංඛ්‍යාව  අල්පය. මෙය විසරණය මගින් සිදු වන අක්‍රිය ක්‍රියාවකි. ප්ලාස්ම පටලයේ වාහක ප්‍රෝටීන විසින් ඇතුලතට එන Na+ අයන ශක්තිය වැය කොට පිටතට යවා K+ අයන ලබාගනියි. මෙම ක්‍රියාවලි දෙක නිසාවෙන් ඉහත කි ලෙස නියුරෝන පටලය ආරෝපණය වීම ධ්‍රැවනය වීම( සටහනේ A) නම් වන අතර එය ඉහත කී අක්‍රිය විභවයි. මෙලෙසට ආව්ගයක් ගමන් නොකරන අවස්ථාවේ නියුරෝනය අනුශාඛිකා වල සිට අක්සනය දක්වා ධ්‍රැවනය වී ඇත.


  • ප්‍රතිග්‍රාහකය හෙවත් සංඥාව  ලබාගන්නා අවයවයකට උත්තේජයක් ග්‍රහණය කොට ආවේගයක් ජනනය කිරීම සඳහා යම් කිසි අවම ප්‍රබලතාවක් තිබිය යුතුය. එය උත්තේජයේ අවම දේහලීය අගය නම් වෙයි. එම දේහලීය අගයෙන් යුත් උත්තේජයක් ප්‍රතිග්‍රාහකයකට ලැබුනු විට එය එම උත්තේජයේ ශක්තිය ක්‍රියා විභවයක් බවට පත් කරයි. එම ක්‍රියා විභවය නියුරෝනයේ අනුශාඛිකා අන්තයට ලැබෙයි.
  • නියුරෝනයේ අනුශාඛිකා  අන්තයට දේහලිය අගයෙන් යුත් උත්තේජයකින්  ලැබෙන ශක්තිය කුඩා කොටසක පාරගම්‍යතාවය  ක්ෂණිකව වෙනස් වෙයි. (මිලි තත්:2 සඳහා) එනම් නාල ප්‍රෝටීන වඩා විවෘත  වීම සිදු වෙයි. 
  • මේ නිසා පිටත ඇති Na+ අයන වේගයෙන් ඇතුලතට ගලා යයි.මේ නිසා අක්සන පටලයේ ඇතුලත(+)ලෙසත් ඇතුලතට සාපේක්ෂව පිටත (-) ලෙසත් ආරෝපණය වෙයි. මෙය විධ්‍රැවනය  නම් වෙයි.(සටහනේ B) මෙවිට පටලය දෙපස විභව අන්තරය +40mV වෙයි. මෙය ක්‍රියා විභවයයි. එක කොටසක විධ්‍රැවනය සිදුවූ විට එම කොටසක් යාබද ධ්‍රැවනය වී ඇති කොටසත් අතර ධාරා ගැලීමක් සිදු වෙයි. (ස්ථානීය ධාරා). එවිට යාබද කොටසේ නාල ප්‍රෝටීන වඩා විවෘත වී  එම කොටසේද Na+ අයන ඇතුලතට ගැලීමක් සිදු වෙයි. 
  • මේ ආකාරයට ස්ථානීය ධාරා ගැලීමත් විධ්‍රැවනය වීමත් අක්සන අග්‍රය දක්වා සිදුවෙයි. 
  • ආවේග සන්නයනය යනු අක්සන අන්තය දක්වා විධ්‍රැවනය සිදු වීමෙන් ක්‍රියා විභවය ජනනය කිරීමයි. ඒ අනුව ආවේගයක් යනු ගමන් කරන ක්‍රියා විභවයකි.






                                                                                    
  • ආවේග සන්නයනය  අවසන් වෙන විට නාල ප්‍රෝටීන වල නාල පටු වි Na+ ඇතුලතට ගැලීම නවතියි. වාහක ප්‍රෝටීන/ නාල ප්‍රෝටීන විසින්ඇතුළු වී Na+ අයන ශක්තිය වැය කර පිටතට පොම්ප කරයි. (Na+ පොම්පය). මේ නිසා විධ්‍රැවනය වූ නියුරෝනය නැවත ධ්‍රැවනය වෙයි. මෙය ප්‍රති ධ්‍රැවනය නම් වෙයි(සටහනේ C). මෙසේ සිදු වන විට විභවය -70mV වඩා අඩු වෙයි. මෙය උපරිධ්‍රැවනයයි. (සටහනේ D) උපරිධ්‍රැවනය නාල ප්‍රෝටීන ඔස්සේ අයන හුවමාරු කර -70mV දක්වා සකස් කර ගැනෙයි.
  • ප්‍රතිධ්‍රැවණය සම්පුර්ණ වන තුරු දෙවන ආවේගයක් සන්නයනය නොවෙයි. මේ සඳහා ගතවන කාලය “අනස්සව කාලය” නම් වෙයි.


 මෙලෙස ආවේගයක්  සන්නයනය වන සාමාන්‍ය වේගය100-120 ms-1   පමණ වෙයි. මෙලෙස අක්සනයේ අන්තය කරා ගමන් කරන   ආවේගයක්, අක්සන කෙලවර වූ උපගම බල්බ හරහා අනෙක් අක්සනයේ  උපගම බල්බයට හුවමාරුවීම රසායනික ක්‍රියාවලියක් මගින් සිදු වෙයි.


  ඉහත දැක්වූ අයුරින් දේහය පුරා ආවේග සන්නයන සිදු වෙයි.






  






Article By                         -  Adithi Prabha

                                                                     Dharmasoka College

                                                                    2014 A/L Bio


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment