මොකක්ද මේ hybrid කියන්නේ?


Hybrid නැත්නම් දෙමුහුම් කියන වචනය දැන් ලංකාවට අමුතු වචනයක් නොවෙයි. විශේෂයෙන්ම දැන් ලංකාවේ දෙමුහුම් මෝටර් රථ වලට තියෙන්නෙ ඉහල ඉල්ලුමක්.
ඒත් මේ hybrid කියන්නෙ මොකක්ද කියන්න බොහෝ අය හරියට දන්නෙ නෑ. දැන් දැන් මේ ගැන භෞතික විද්‍යා විශය ධාරාව ඇතුලෙත් කතා බහ වෙන දෙයක්.
විශේෂයෙන්ම, මේ තාක්ශණයේ තියෙන වටිනාකම නිසාත්, භෞතික විද්‍යාවේ විවිධ නියමයන් මෙම තාක්ශණය ඇතුලෙ යෙදෙන නිසාත් බොහෝ දුරට නුදුරේදීම උසස් පෙල විභාගයට ගැටලුවක් ලෙස නිර්මාණය වී ආවද එය එතරම් පුදුමයට කරුණක් නොවනු ඇත.
Hybrid තාක්ශණයේ මූලිකම අරුත් වනුයේ එකිනෙකට වෙනස් ශක්ති මූලාශ්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් යම්කිසි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීමයි. නමුත් අපට හුරු පුරුදු වනුයේ මෙය මෝටර් රථ වල යෙදෙන ආකාරයයි.




Hybrid system එකක මූලිකම කොටස් කිහිපයක් තිබේ.
  •     සාමාන්‍ය විදුලි බලය සපයන බැටරියක්
  •     විශේෂිත hybrid බැටරියක්
  •     ජව පාලන ඒකකයක්(power control unit)
  •     එන්ජිම(පෙට්‍රල් හෝ ඩීසල්)
  •     මෝටරයක්
  •     ජව උත්පාදකයක්(generator)
  •     අමතරව විශේෂිත තිරිංග පද්ධතියක්


මේ කොටස් දුටු සැනින් අවබෝධ වෙන්නේ මේ තාක්ශණය සාමාන්‍ය පෙට්‍රල් හෝ ඩීසල් රථයක ක්‍රියාකාරීත්වයට හාත්පසම වෙනස් යන්නයි.
මෙය ප්‍රධානව අවස්ථා 4ක් යටතේ විස්තර කල හැක.





1.නගරබද සාමාන්‍ය ධාවනය: එන්ජින් ධාවනය

මෙහිදී සිදු වෙනුයේ, සාමාන්‍ය නගරයේ ධාවනයේදී එතරම් වේගයෙන් ගමන් නොකරන නිසා බැටරියේ බලයෙන් ධාවනය වේ. මුලදී බැටරියෙන් දෙන විදුලියෙන් පමණක් රථය ධාවනය වුවද, බැටරියේ බලය අඩු වනවිට, එන්ජිම පනගැන්වී, බැටරියද ආරෝපනය වෙමින් ධාවනයට බලය සපයයි.
 

2. නගරබද සාමාන්‍ය ධාවනය: විදුලි මෝටරයෙන් ධාවනය

ඉහත ආකාරයටම මෙහිදීත් ධාවනය සිදු වෙන අතර එහෙත් විශේෂ දේ නම් මෙහිදී ධාවනය සිදු වෙන්නෙ පෙර අවස්ථාවට වඩා අඩු වේගයක් සහිතවයි. එනම් පෙර අවස්ථාවේ දක්වන ලද ආරම්භක අවධියයි.
 

3.ඉහල වේගයකින් ධාවනය

මෙහිදී ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ අප තරමක් ඉහල වේගයකින් යන විට (උදා:අධිවේගී මාර්ගයකදී) සාමාන්‍ය බැටරියෙන් හෝ එන්ජිමෙන් ප්‍රමානවත් බලයක් නොලැබෙන විට, hybrid බැටරිය හා එන්ජිම යන දෙක මගින්ම ශක්තිය නිපදවා මෝටරයට ලබා දීමයි. එමගින් වඩා ඉහල බලයක් මෝටරයෙන් රෝද වලට ලබාදිය හැක.
එයට අමතරව, මෙම අවස්තාවේ එන්ජිමෙන් නිපදවෙන ශක්තිය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම්, generator එක මගින් ඉතිරි ශක්තිය hybrid බැටරියේ ගබඩා කරයි.
 

4.රථය නවත්වන විට

රථය නවත්වන විට සිදු වෙන්නෙ අප සාමාන්‍ය රථ වල දකිනවාට වඩා වෙනස් සිදුවීමක්. සාමාන්‍ය රථ වල වෙන්නේ brake pads හෝ disk මගින් රෝද වලට බලයක් යොදා, රෝද වල තිබෙන චාලක ශක්තිය මුලුමනින්ම තාපය හෝ ශබ්දය බවට පත් කරල රෝද නවත්වන එක. ඒත් ඒ තිබූ චාලක ශක්තිය කොහෙත්ම ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි වෙන්නේ නෑ. එම තත්වය මග හරවමින්, hybrid තාක්ශණයේදී රෝදවල ඇති චාලක ශක්තිය බොහෝ ප්‍රමාණයක් නැවත generator එකක් මගින් විද්‍යුත් ශක්තිය බවට හරවා, hybrid බැටරියේ ගබඩා කිරීමයි. එම නිසා දහනයවන ඉන්ධන වඩාත් කාර්‍යක්ශමව භාවිතා කල හැක.
මීට අමතරව, මෙවැනි රථයක් රථ වාහන තදබදය ඇති තැනක නවත්වා ගෙන සිටීනම්, එවිට මෝටරය සම්පූර්නෙන් නැවතී පවතී. යලි ගමන අරඹන විට මෝටරය ක්‍රියාකිරීම ඇරඹේ.
මේ අනුව, දැකිය හැකි මූලිකම කාරණය නම්, මේ hybrid තාක්ශණයේ ප්‍රධාන අරමුණ මෝටර් රථවල ඉන්ධන කාර්‍යක්ශමතාව ඉහල නැංවීම බව පෙනේ.


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment