ජායාපිටපත් යන්ත්‍ර සහ පරිඝණක මුද්‍රණ යන්ත්‍ර හි ස්ථිති විද්‍යුතයෙහි භාවිතය



ජායාපිටපත් යන්ත්‍ර (Photocopy Machines) සහ ලේසර් මුද්‍රණ යන්ත්‍ර (Laser Printers) විසින් ජායාරූපයන් නියමාකාරයෙන් මුද්‍රණය කිරීම සඳහා ස්ථිති විද්‍යුත් ආකර්ෂණයන් යොදාගනු ලබනවා. එම යන්ත්‍ර විසින් ජායාරූපය සිලින්ඩරාකාර බෙරයක් (Drum) මතට යොමුකර ගැනීම සඳහා විශේෂිත වූ තාක්ෂණයක් භාවිතා කරනු ලබනවා. ෆොටෝකොපි යන්ත්‍රයේ කාචයන් (Lenses) සහ දර්පණයන් (Mirrors) විසින් ඔරිජිනල් පිටපතෙහි අඩංගු දෑ Drum එක මතට නාභිගත කරනු ලබනවා. හරියට කැමරා කාචයන් මගින් (Camera Lens) ජායාරූපයක්  මතට නාභිගත කරනවා වගෙයි. මේ Drum එක සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ හොඳ සන්නායකයක් වන ඇලුමිනියම් වලින්. ඒ වගේම, එහි මතුපිට පෘෂ්ඨයේ තුනී සෙලීනියම් (Selenium) ස්ථරයක් ආලේප කර තිබෙනවා. සෙලීනියම් සතුව එක්තරා සුවිශේෂී ගුණාංගයක් තිබෙනවා. ඒ තමයි, අඳුරේදී විද්‍යුත් කුසන්නායක වුවත්, ආලෝකයට නිරාවරණය වූ විගසින් විද්‍යුත් සන්නායක ගතිගුණ පෙන්වනු ලබනවා.


පළවෙනි පියවරේදී, ආරෝපිත දණ්ඩක් මගින් ෆොටෝකොපි යන්ත්‍රයේ Drum එකේ සෙලීනියම් ස්ථරය මත ඒකාකාරී ධන ආරෝපණ ස්ථාපනය කරනු ලබනවා. මෙය සිදුකරනු ලබන්නේ අඳුරේදී. 

දෙවැනි පියවරේදී, පිටපත් කිරීමට හෝ මුද්‍රණය කිරීමට අවශ්‍ය දේ, Drum එක මතට යොමු කරනු ලබනවා. සරළව ගත්තොත්, හිතන්නකෝ සුදු පසුබිම සහිත කොලයක කළු අකුරින් තියෙන A අකුරක් තමයි පිටපත් කරගන්න අවශ්‍ය කියලා. Drum එක මත තියෙන A අකුර අඳුරු පාටයි. නමුත්, අවට අනිත් සියල්ල ආලෝකමත්. මේ ආලෝකමත් වෙලා තියෙන හැම ප්‍රදේශයකින්ම සෙලීනියම් සන්නායකතාවයට පත්වෙලා, ඇලුමිනියම් ලෝහය තුලින් ඉලෙක්ට්‍රොන ගලාගෙන යන්න පටන්අරගෙන, ඉහත සඳහන් කරපු ධන ආරෝපණ ප්‍රදේශ උදාසීන කරනවා. ඒ වගේම, ඉහත සඳහන් කරපු A අකුරේ අඳුරු ප්‍රදේශයේ සෙලීනියම් කුසන්නායක නිසා ධන ආරෝපණ ඒ ආකාරයෙන්ම පවතිනවා. 

තෙවෙනි පියවරේදී, ටෝනර් එක මගින් සෘණ ආරෝපණ ලබාදී, Drum එක භ්‍රමණය වන ආකාරයෙන් අතුල්ලනු ලබනවා. මෙවිට, සෘණ ආරෝපිත ටෝනර් අංශු, Drum එකේ ධන ආරෝපිත ප්‍රදේශය වෙත ආකර්ෂණය වී, එහි ඇලීම සිදුවෙනවා. 

හතරවෙනි පියවරේදී, Drum එකට දිගටම භ්‍රමණය වීම සඳහා, මේ වන විට සෙලීනියම් වලටත් වඩා ශක්තිමත් ආකාරයෙන් ධන ආරෝපිත වී ඇති කඩදාසියට විරුද්ධව පීඩනයක් යොමුකරනවා. මේ නිසා, ටෝනර් අංශු කොටස් කඩදාසිය මතට මාරුවී, අවසාන රූපය සෑදෙනවා.

අවසානයට, පස්වෙනි පියවරේදී, ටෝනර් අංශු කොටස් කඩදාසිය වෙත දැඩිව රැඳී පැවතීම සඳහා කඩදාසිය උණුසුම් කරනු ලබනවා.

වර්ණ පිටපත් ගැනීමේදී, අදාළ සියලු වර්ණයන් සඳහා මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුකල යුතු වෙනවා.  කළු, සියෑන් (නිල්), මැජෙන්ඩා (රතු) සහ කහ යන මේ වර්ණයන් හතර වෙනස් ප්‍රමාණයන්ගෙන් සංකලනයෙන් ඕනෑම වර්ණයක් සකස් කරගැනීමට හැකියාව තිබෙනවා. 



ලේසර් මුද්‍රණ යන්ත්‍රයකදී (Laser Printer) දෘඩ පිටපතක් භාවිතා කෙරෙන්නෙ නැහැ. ඒ වෙනුවට, ප්‍රෝග්‍රෑම් කරන ලද ලේසර් කදම්බයක (Laser Beam) තීව්‍රතාවය තමයි මේ සඳහා යොදාගන්නේ. මෙහිදී සිදුවෙන්නෙත් ෆොටෝකොපි යන්ත්‍රයකදී සිදුවෙච්ච දේ වගේම දෙයක් තමයි. නමුත්, Drum එක මත රූපය (Image) සාදන ආකාරය ඊට වඩා වෙනස් වෙනවා. මෙහිදී,  කාචය (Lense) මගින් නිවැරදි ස්ථානයකට ලේසරයේ සිහින් ආලෝක කදම්බය යොමු කරනු ලබනවා. මෙහිදී චලනය කල හැකි දර්පණයක් (Mirror) මාර්ගයෙන් ලේසර් කදම්බය විසින් තිරස් රේඛාවන් සමුදායක් මගින් Drum එක හරහා පැත්තෙන් පැත්තට ස්කෑන් කරමින්, පෙර රේඛාවට යටින් ඇති රේඛාව ග්‍රහණය කරගනු ලබනවා. ලේසර් කදම්බය Drum එක හරහා ඇදී යනවිට එහි තීව්‍රතාවය අවස්තාව අනුව වෙනස් වෙනවා. යම් තැනකදී තදින් ඇදී යනවා නම් එයින් අදහස් වෙන්නේ සුදු හෝ දීප්තිමත් වර්ණයක් බවත්, දුර්වල ආකාරයෙන් හෝ කදම්බය නොමැති නම් ඉන් අදහස් වෙන්නේ අඳුරු පැහැයක් බවත්ය. එක ඇදී යාමකට පසුව Drum එක යාන්තමින් හැරීමකට ලක්වී, තවත් තිරස් ඇදීයාමක් ආරම්භ වෙනවා. අවශ්‍ය පිටපත නිර්මාණය වන තෙක් මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙනවා. සෙලීනියම් හි ආලෝකමත් කොටස් සන්නයනය වෙමින් එහි අඩංගු විද්‍යුත් ආරෝපණ නැතිකර ගන්නා අතර, අඳුරේ පමණක් පවතින ටෝනර් විද්‍යුත් වශයෙන් ආරෝපිත ප්‍රදේශ වේ. ඉන්පසුව Drum එක මගින් අදාළ රූපය (Image) කඩදාසිය මතට මාරු කරනු ලබනවා.

Inkjet ප්‍රින්ටර් තුල Drum එකක් භාවිතයට ගැනෙන්නේ නැත. ඒ වෙනුවට, තුඩක් සහිත (Nozzles) ඉතා කුඩා තීන්ත බිංදු විදිනයකින් සෘජුවම කඩදාසිය මතට විදීම සිදුකරනු ලබයි. මෙහිදී, Nozzles කඩදාසිය හරහා ඇදී යමින් රූපය සම්පූර්ණ කරනු ලබන අතර, Nozzles මගින් රූපය සම්පූර්ණ කරන අතරතුර කඩදාසිය පහළට චලනය වේ. Nozzles හි මේ සෑම ඇදී යෑමකදීම කඩදාසිය මත තීන්ත තිත් ඇතිවේ. රූපයක් සෑදෙන්නේ මෙවැනි ආකාරයේ ඉතා කුඩා තීන්ත තිත් අති විශාල සංඛාවක් එකතු වීමෙනි. ප්‍රින්ටර් එකක ගුණාත්මකභාවය මනිනු ලබන්නේ අදාළ දික්කඩක අඟලකට ඇති තිත් සංඛාව (dots per inch - dpi) අනුවයි. 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment