දෛවයට අභියෝග කරමින්, ලොවක් විස්මයට පත්කරමින් ජීවිතය ජයගත් අපූරු මිනිසා!



මේ කියන්න යන්නේ, දෛවයට අභියෝග කරමින්, ලොවක් විස්මයට පත්කරමින් ජීවිතය ජයගත් විස්මිත මිනිසෙක් පිළිබඳව  “සත්‍ය කතාවක්”. ඔහු සාමාන්‍ය අයෙක් නොවේ, ශරීරයේ චලනය කළහැකි මාංශ පේශි කිහිපයක් පමණක් ඇති දෛවය පරාද කරමින් ජිවිතය ජයගත්, ලොවම පිළිගත් මහා බුද්ධිමතෙක්. කළු කුහර කියන්නේ මොකක්ද කියලා මීට ඉහත ලිපියක් මගින් දැනුවත් කරලා ඇති. මෙතනින් ඒ ලිපිය සමගින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ බ්ලැක් හෝල්ස්, එහෙමත් නැත්නම් කළු කුහර එක්කම බැඳිච්ච නමක් තමා ස්ටීෆන් හෝකින් කියන්නේ. ඒ ඔහු කළු කුහර සම්බන්දව ඔහු විසින් ඉදරිපත් කළ කරුණු නිසාවෙනි. ස්ටීෆන් හෝකින්, එහෙමත් නැත්නම් ස්ටීෆන් විලියම් හෝකින් කියන්නේ ඉංග්‍රීසි ජාතික භෞතික විදයාඥයෙක්. මොහු ඉපදුනේ වර්ෂ 1942 ජනවාරි 8 වෙනිදා එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් වල. “ඔහු හරියටම ඉපදුනේ මහා විදයාඥ ගැලීලියෝ මිය ගිහින් වසර 300ක් ගතවෙන දවසේ”. ස්ටීෆන් තමයි දරුවන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක ඉපදුනු වැඩිමහල්ම දරුවා වුනේ. මොහුගේ අම්මා සහ තාත්තා යන දෙදෙනාම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන අධ්‍යාපනය ලබා තිබූ අතර ඔහුගේ පියා, ෆ්‍රෑන්ක් වෛද්‍ය පර්යේෂකයෙක් විය. කුඩා කාලයේ ඉඳලාම මේ හෝකින් විද්‍යාව සහ ගණිතයට ඉතාමත් ආශාවක් පෙන්වූවා. ඒ වගේම ඔහු ඒ සඳහා දක්ෂතාවයක්ද පෙන්වපු නිසා මෙයාට පාසලේ “අයින්ස්ටයින්” කියන හුරතල් නාමයකුත් පට බැඳුනා. මෙයාට ඕන වුනේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙ ගණිත අංශයෙන් උපාධියක් ලබාගන්න. නමුත් ඒ දවස් වල ඔක්ස්ෆර්ඩ් වල ගණිත උපාධියක් තිබ්බේ නැති නිසා ස්ටීවන් ඒ වෙනුවට භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවව තෝරාගත්ත. ඔහු උපාධියෙන් පසුව ඔහුගේ PhD (ආචාර්ය උපාධිය) එක කිරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලත් වුණා.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ මෙයා එයාගේ PhD එක කරමින් ඉන්න අතරේ එයාගේ සෞඛ්‍ය දුර්වල වෙන්න ගත්තා. එයාගේ කතාව කතාව, ශරීරය දුර්වල වෙන්න ගත්තා. වෛද්‍යවරු පර්යේෂණ ගණනාවකට පස්සේ සොයාගත්තා ස්ටීවන් Amyotrophic Lateral Sclerosis (ALS) (ඇමියෝට්රො ෆික් ලැටරල් ස්ක්ලෙරෝසිස්) කියන රෝගයෙන් පීඩා විඳින බව. සාමාන්‍යයෙන් මේ රෝගය හඳුන්වන්නේ Motor Neurone Disease ( චාලක ස්නායු/නියුරෝන ආබාධය ) කියලයි. රෝගය ගැන පොඩ්ඩක් කියනවා නම් මේ රෝගයට හේතුවෙන සාධක මොනාද කියල 90-95% පමණ ප්‍රමාණයයක් සොයාගෙන නෑ. නමුත් ඉතිරි 5-10% අතර ප්‍රමාණය දෙමාපියන්ගේ ජානවලින් උරුම වන බව සොයාගෙන තිබෙනවා. මේ රෝගයේදී පේශී ක්ෂයවී යාම නිසා කතා කිරීමේ හැකියාව, ගිලීමේ හැකියාව , එමෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවයද ඇති වෙනවා. මේ ලෙඩේට කිසිම බෙහෙතක් තාමත් නෑ. ඉතින් මේ ලෙඩේ ගැන ඔයාලට හිතාගන්න පුළුවන්නේ… ඒ වෙලාවේ දොස්තරලා කිවුවේ මෙයාට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු කිහිපයක් විතරයි කියලා. ඉතින් හෝකින් මේ රෝගයෙන් ශාරීරිකව මෙන්ම මානසිකවද කඩා වැටිලා ඉන්න වෙලාවේ මෙයා තීරණය කළා, මේ ජීවිතයේ මට ලඟා කරගන්න ඕන කරන හුගක් දේවල් තියෙනව කියලා. ඉතින් මෙයා කවදාවත් නැති විදීහට ඉතාමත් මහන්සියෙන් අධ්‍යාපන වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. එයාට මැරෙන්න කළින් එයාගේ PhD එක ගන්න එයාට ඕනවුණා. ඒ කාලයේදීම එයා ජේන් වයිල්ඩ් නම් ස්ටීවන්ගේ නංගිගේ යාලුවෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත්තා. ඇත්තම කිවුවොත් එයාට රෝගය තියෙනව කියලා හොයාගන්න පෙර ඉඳලාම තමයි මේ සම්බන්ධය ඇතිවෙලා තිබුණේ. ඉතින් ඒ සම්බන්ධතාවය මල් පල දරමින් 1965 ජූලි 14 වෙනිදා මොවුන් දෙදෙනා විවාහ ජීවිතයට එක්වූවා. ඇය මොහුගේ දෛවය පරාද කරවීමේ ගමනට බොහෝ සෙයින් උපකාර වුවා. ඉතින් 1967 මැයි මාසයේදී මොවුන්ගේ මුල්ම දරුවා වන රොබර්ට්ද, 1970 දී දෙවන දරුවා වන ලුසීද, 1979දී තුන්වන දරුවා විදිහට ටිමොතිද මොවුන් දෙදෙනා දාව උපත ලැබුවා. කොහොමහරි මේ දෙන්නා 1991දී වෙන්වෙනවා.

මේ රෝගය කෙතරම් දරුණු වුනත් නූතන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව නිසා ස්ටීව්න්ට ඵලදායී ජීවිතයක් ගතකරන්න පුළුවන්කම ලැබුණා. නමුත් ඔහුට ඇවිදීම සඳහා රෝද පුටුවක් භාවිතා කිරීමට සිදු වූවා. ඒ වගේම ස්ටීවන්ට කතා කිරීමේ හැකියාවද කාලයක් යද්දී අහිමිවෙලා ගියා. ඉතින් ස්ටීවන්ට සන්නිවේදන කටයුතු කරගන්න සිද්ද වුනේ ස්පර්ශක පුවරුවක් (ටච් පෑඩ්), පරිගණකයක් සහ කටහඬ උත්පාදනය කරන උපකරණයක් ආධාරයෙන්. ඉතින් මේ තත්ත්වයෙන් හිටපු හෝකින් තමන්ගේ කාලයෙන් වැඩි හරියක් ගතකලේ කළු කුහර සහ අවකාශය හා කාලය ගැන පර්යේෂණ පවත්වමින්. ඔහු ඒ පිළිබඳව විවිධ වැදගත් දේවල් ලිවීම මගින් සාපේක්ෂතාවය සහ කළු කුහර පිළිබඳව කැපී පෙනෙන ප්‍රවීණයෙක් බවට පත් වුණා. ඔහුගේ හුඟක්ම ජනප්‍රිය සොයා ගැනීම වුනේ කළු කුහර යම් විකිරණ පිටකරන බව විදහා දැක්වීමයි. මේ කළු කුහර වලින් නිකුත්වන විකිරණ හැදින්වුයේ “හෝකින් විකිරණ” ලෙසයි. ස්ටීවන් පොත් ලියන්න හුඟක් ආස කළා. 1988දී ස්ටීවන් A brief History in Time කියන පොත් ප්‍රකාශනයට පත් කළා. මේ පොතෙන් ඔහු සාමාන්‍ය කියවන්නෙකුට වුවද කියවා අවබෝධ කරගන්න පුළුවන් විදිහට මහා පිපුරුම් වාදය (Big Bang Theory) සහ කළු කුහර සම්බන්ධයෙන් භාවිතා කරන නූතන දේවල් පිළිබඳව විස්තර කළා. මේ පොත පිටපත් මිලියන ගණනක් විකිණෙමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. එමෙන්ම ඔහු විසින් On the Shoulder of Giants සහ The Universe in a Nutshell වැනි පොත්ද රචනා කළා. ඒ වගේම මොහුට එංගලන්තයේ මහරැජින විසින් පිරිනමන ලද නයිට් පදවියද ප්‍රතික්ෂේප කළා. 

නමුත්, හැමදේකටම නිමාවක් තියෙනවා. ඒ තමයි ලෝක සත්‍යය. ඉරණමට ඉඩ නොදී ලොවක් ජයගත් ධෛර්යමත් මිනිසෙකුගේ සැබෑ ජිවිත කතාව 2018 වර්ෂයේදී නිමාවට පත්වෙනවා. නමුත්, ලෝකයක් හමුවේ ඔහු කියාපෑ, ලෝකයක් හමුවේ ඔහු ඉගැන්වූ දේ අනන්තයි, අප්‍රමාණයි. මුළු ලෝකයම කියාවි ඔබට බැහැ කියලා. නමුත්, මිනිසෙකුට කරන්න බැරි දෙයක් නැහැ කියලා මෙතුමා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. මුළු ලෝකයක්ම ඔබට හිනාවෙන්න පුළුවන්. නමුත්, ඒ සිනහව අත්පොලසන් නාදයක් බවට පත්කිරීමටද හැකියාව තිබෙන්නේ ඔබට පමණයි. අවශ්‍ය වන්නේ, එක සිතින් තමන්ගේ අනාගත ඉලක්කයන් කරා ගමන් කිරීමට පමණයි. කිසිම ජගතෙකුට ඔබගේ ගමන නතර කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ තමයි ස්ටීෆන් හෝකින් නම් විස්මිත මිනිසා සමස්ත ලෝකයක් හමුවේ තබන ලද ආදර්ශය.

“ අපි හැමෝම එකිනෙකාට වෙනස්, 
ජීවිතය නරක විදියට ඔබට පෙනෙන්න පුළුවනි, 
නමුත් ඔබට කළහැකි දෙයක් හැම විටම පවතිනවා, 
බලාපොරොත්තු ඉෂ්ටකරගන්න, 
ජීවිතය තිබෙන තුරු, එතැන බලාපොරොත්තු පවතිනවා” 
~ ස්ටීෆන් විලියම් හෝකින් ~
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment